Home » විමර්ශන » චෛත්‍යයට හැට්ට ඇන්දවීම..! ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිමු – හෑගොඩ විපස්සි හිමි

චෛත්‍යයට හැට්ට ඇන්දවීම..! ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිමු – හෑගොඩ විපස්සි හිමි

චෛත්යයට හැට්ට ඇන්දවීම..! ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිමු
– හෑගොඩ විපස්සි හිමි
තට්ට හිසත් කහරෙද්දත් මිස කිසිදු ශීලගුණෝපේත භාවයක් නැති කාසමුණ්ඩකයන්ගේ නිර්ලජ්ජී ජාවාරම් ගැන ථේරවාදයද චෝරවාදයද ලිපි පෙළ තුලින් අපි බොහෝ දේ කථා කළෙමු. ඉදිරියටද කථා කරන්නෙමු. ලංකා ඊ නිව්ස් ආරම්භ කළ මෙම ‘කිංසච්ච ගවේශණය’ දැන් දැන් දැන උගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ද බලවත් අවධාරණයට ලක්ව තිබේ. එය ලක්වැසි බෞද්ධ ජනතාවගේ වාසනාවකි. චෝරවාදී මිත්යා දෘෂ්ඨියෙන් මිඳීම සඳහා පූජ්ය හෑගොඩ විපස්සී හිමියන් විසින් අන්තර් ජාලයට යොමු කර ඇති පහත දැක්වෙන ලිපිය ඔබගේ නැණස පෑදීමට මහත් රුකුලක් වෙනු නිසැක ය.
වර්තමාන සමාජය තුළ සෑම දෙයටම පාහේ පූජා පැවැත්වේ. පසුගිය කාලය පුරා මෙහි විශාල වැඩි වීමක් දක්නට ඇත. එහෙත් අපි මෙහි තේරුම් ගත යුතු දෙය වන්නේ බුදුදහම තුළ අද පවතින මේ බොහෝ පූජාවිධීන් බුදුරදුන් ගේ දේශනා හා ගැළපෙන ඒවා නොවන බවය. වෙනත් ආගමික සංකල්පයන් තුළ දකින්නට ලැබෙන පූජා විධීන් මේ ආකාරයට ක්රියාත්මක වන බවක් පෙනෙන්නට ඇත. 108ක් ඖෂධ පූජාව, හාරදහසේ පහන් පිංකම, කංචුක පූජාව, මහා පිච්ච මල් පූජාව, රෝස මල් පූජාව, ෙචෙත්යයන් වටා පලතුරු, අටපිරිකර ආදිය තබමින් කෙරෙන පූජා මේ අතර වේ.
ඒ අතරින් වර්තමානයේ වැඩි ප්රවණතාවක් දක්නට ලැබෙන්නේ, රහතන් වහන්සේලා බිහි කරගැනීම අරමුණු කරගනිමින් යැයි පවසමින් විවිධ කිරිපිඬු පූජා, හඳුන්කූරු ලක්ෂයක් පූජා කිරීම ආදී පූජාවන්ය. මෙහිදී වන විශේෂත්වය වන්නේ එම කිරිපිඬු පූජා සඳහා කිරිබත් පිසීමට අවශ්පොල් කැඩීම සඳහා ගසට නගින්නේද සුදු පිරුවට ඇඳ, මුඛවාඩම් බැඳගෙනය. පොල් ලෙලි ගසන්නේද එසේ ය. ඒ සියල්ල ඔවුන් කරන්නේ දින ගණනක් ඒ වෙනුවෙන් ම පේවී සිටගෙන බවද ඔවුහු ප්රකාශ කරති. ඒ නිසාම එවැනි පූජාවන් ඉතා පිරිසිදු පූජාවන් බව පවසමින් ඒ කෙරෙහි ඇදී යන පිරිස්ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. එහෙත් මෙහි ඇති මිථ්යාව කිසිවකු වටහා ගන්නේ නැත.
බොහෝ විහාරස්ථානවල කෙරෙන කංචුක පූජාවද ඉතාම ප්රචලිතය. එහෙත් මෙම පූජාව පිළිබඳව බුද්ධ භාෂිතයේ හෝ ත්රිපිටකයේ කිසිදු තැනක පෙනෙන්නට නැත. “කංචුක” යන්නෙහි තේරුම හැට්ටය යන්නයි. කංචුක පූජාව ලෙස අද බොහෝ දෙනා කරන්නේ, චෛත්යය වටා සිවුරක් හෝ බෞද්ධ කොඩියක් එතීමයි. චෛත්යය යනු බෞද්ධයන්ගේ සංකේතයක් පමණි. ඒ වටා සිවුරු හෝ බෞද්ධ කොඩි එතීමෙන් ලැබෙන ඵලයක් නැත. මෙමඟින් බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ, මුදල් ඉපැයීමය. මෙවැනි කටයුතු සඳහා සංවිධායකයන් යැයි කියා ගන්නා පිරිස් බොහෝ සම්මාදම්වල නිරත වෙති. සම්මාදම්වලින් ලැබෙන එම මුදලින් කොටසක් යන්නෙ සංවිධායකයන්ගේ සාක්කුවලට ය. එමෙන්ම චෛත්යයට හැට්ට පූජා කරන සම්ප්රදායක් බුදුදහම තුළ නැත. එමනිසා කංචුක පූජා යැයි පවත්වන මෙම කිසිදු අර්ථයක් නැති, පූජාවලට වියදම් කරන මුදල්වලින් එම විහාරස්ථාන හෝ චෛත්යයන්හි සුදුපිරියම් කොට අලුත්වැඩියාවක් කරන්නේ නම් එය ඉතා මැනවි.
එමෙන්ම චෛත්යයන් වටා මහා පළතුරු පූජාවන්, චෛත්යයේ උසට අටපිරිකර පූජා පැවැත්වීම්ද සමාජය තුළ බහුලය. බුදුදහමේ කිසිදු තැනක එවැනි පූජා පිළිබඳව ද සඳහන් වන්නේ නැත. එහෙත් බෞද්ධයා ඊට පෙළඹී හමාරය. මේ තුළින් සිදුවන්නේ ව්යාපාරිකයන්ට ගුණාත්මක තත්ත්වයෙන් තොර භාණ්ඩ අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබිම පමණි. සාමාන්යයෙන් අටපිරිකරක් තුළ අඩංගු වන්නේ, බෞද්ධ භික්ෂුවකට අවශ්ය වන සිවුරු, අඳන, පාත්ර, දැලිපිහි, ආදිය යි. ඒවා සහිත අටපිරිකරක් චෛත්යයකට පූජා කිරීම සුදුසු ද යන්න අප විමසා බැලිය යුතු ය. එමෙන්ම එවැනි පූජා ක්රම සමාජය තුළ පැතිරීමත් සමග සිදුවන්නේ වැඩි ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් ව්යාපාරිකයන් ඒවා ජාවාරම් බවට පත් කර ගැනීමකි.
චෛත්යයට කරන පලතුරු පූජාද ඒ ආකාරයේම වේ. සෝමාවති චෛත්ය වටා මහා පලතුරු පූජාවන් පැවැත්වීම අද බහුලවම දැකිය හැකිය. ඒ තුළින්ද සිදුවන්නේ බෞද්ධ ප්රබෝධයක් නොව මුලින් සඳහන් කළා සේ, ව්යාපාරික ජාවාරම් පමණි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, “පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ – නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” යනුවෙනි. එනම්, බෞද්ධ ධර්මය ප්රඥාවන්තයන්ට මිස මෝඩ පුද්ගලයන්ට නොවන බවය. මෙම බුද්ධ පාඨය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසම හොඳින් අවබෝධ කරගත යුතුව ඇත.
අපට යම් රෝගයක් වැලඳුණ කල අප කළ යුත්තේ, ඊට නිසි ප්රතිකර්ම ලබා ගැනීමය. ඊට අදාළ ඖෂධ ලබා නොගෙන, ඒවා බුදුරදුන්ට පූජා කළ පමණින් රෝග සුවවෙතැයි සිතීම මිථ්යාවකි. බුද්ධ ශාසනය තුළ නිරෝගිමතුන් අතර අග්රස්ථානයට පත් වූයේ බක්කුල මහරහතන් වහන්සේය. එම චරිත කතාව පෙරටු කරගනිමින් වර්තමානයේ බොහෝ ස්ථානවල 108ක් වූ ඖෂධ පූජා පැවැත්වීමට කටයුතු කරයි. මේ සඳහා බහුල වශයෙන් යොදා ගන්නේ, විවිධ ආලේපන, කසාය පැකට්, ආදියයි. ඖෂධ අවශ්ය වන්නේ විහාරස්ථානයක බෝධීන් වහන්සේට හෝ චෛත්යයට නොවේ. රෝගීන්ටය. රෝගී වූ අයෙකුට ඖෂධ ලබා දී හොඳින් රැක බලා ගත හැකි නම්, එය මහඟු පුණ්ය කර්මයකි. “යෝගිලානං උපට්ඨති – සෝමං උපට්ඨති” යනුවෙන් බුදුරදුන් දේශනා කරන ලද්දේ, යමෙක් රෝගියෙකුට උපස්ථාන කරන්නේ නම්, එය බුදුරදුන්ට සැලකීම හා සමාන වන බවය. එලෙස රෝගීන්ට අවශ්ය වන ඖෂධ වර්ග අද බහුලව චෛත්ය හා බෝධීන් වහන්සේලාට පූජා කිරීම නිසා, ඒවා සිය දහස් ගණනින් විනාශ වෙමින් පවතී. භික්ෂූන් වහන්සේලාට පවා රෝගී වූ විට ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය තරම් පහසුකම් වර්තමානයේ ඇත. එබැවින් ලෝකයට අඬබෙර ගසා, ලක්ෂ සංඛ්යාත මුදල් වියදම් කරමින්, කරන මෙවැනි වෛවර්ණ පූජාවන්වලට වඩා, රෝගී භික්ෂුවකට අවශ්ය ඖෂධ ලබාදී, උන්වහන්සේ සුවපත් කරන්නට කටයුතු කරන්නේ නම්, එය මහත්ඵල මහානිසංස ලැබෙන පුණ්ය කර්මයකි.
අසූහාරදහසේ පහන් පිංකම්, විවිධ මල් පිංකම් ආදියද මෙම පූජා ක්රම අතර බහුලව දැකිය හැකිය. අතීතයේ දී සෑම මලක්ම බුදුරදුන්ට පූජා කළේ නැත. එහෙත් අද පවතින මෙම ප්රවණතාව නිසා, වැටකෙයා මල පවා බුදුරදුන්ට පූජා කරන්නට ඇතැම්හු පෙළඹෙති. අනෙක් අතට අප පහන් දල්වන්නේ අන්ධකාරය දුරු කරනු පිණිසය. බුදුරදුන්ට පහන් දැල්වීමෙන් සංකේතවත් වන්නේ, මෝහය නැමැති ගණ අන්ධකාරය දුරු කර, ප්රඥාව නැමැති ආලෝකය දැල්වීමයි. එමනිසා අප කළ යුත්තේ පැහැදුණු සිතින් යුතුව බුදුරදුන්ට මල් පහන් පූජා කිරීම පමණි. ඒ අරමුණ ඇතිව බුදුරදුන්ට එක් පහනක් මලක් පූජා කිරීම වුවද ප්රමාණවත් ය.
මෙවැනි ක්රියාකාරකම් තුළින් බෞද්ධ ප්රබෝධයකට කිසිවක් සිදු වන්නේ නැත. සිදුවන්නේ බෞද්ධ සමාජය පිරිහීමක් පමණි. එමෙන්ම බෞද්ධ ජනතාව තුළ පවතින ශ්රද්ධාව පෙරදැරි කරගනිමින් මේවා සංවිධානය කරන පිරිස් විසින් සිදුකරන්නේ ඒ ජනතාව දුක් මහන්සියෙන් උපයා ගත් ධනය නිෂ්ඵල කාරණා සඳහා විනාශ කර දැමීමකි. බුදුරදුන් දේශනා කර ඇත්තේ තමන් මහන්සි වී උපයන ධනය අර්ථවත් ආකාරයට වියදම් කළ යුතු බවය. සිඟාලෝවාද සූත්රය තුළදී බුදුරජාණන් වහන්සේ එම කාරණය මැනවින් පෙන්වා දී ඇත.
අනෙක් අතට පොල් ගසකට පිරුවට ඇඳ, මුඛවාඩම් බැඳ නැඟීම මෙන්ම මුඛවාඩම් බැඳ පලතුරු කැඩීමද එක්තරා ආකාරයක විකාර අදහසක් බව පැහැදිලි කාරණාවකි. පොල් ගසකට නඟින්නට පිරුවට අවශ්ය වන්නේ නැත. එය එක් පැත්තකින් ඉතා අවදානම් සහගත ක්රියාවකි. අනෙක් අතට පොල් කැඩීම, කුඹුරු කෙටීම, අතීතයේ සිට පැවැති අපගේ ජීවන වෘත්තීන්ය. ඒවා කරන පිළිවෙළක් ඇත. එබැවින් මේ සියල්ල මිනිසුන් මුලාවට පත්කරන තක්කඩි ජාවාරම්කරුවන්ගේ කපටි ක්රියා මිස, මේවායින් කිසිදු ආකාරයකට බුදු දහමට යහපතක් සිදුවන්නේ නැත. ඒ තුළින් සිදුවන්නේ අපගේ බෞද්ධ සමාජය දිනෙන් දින පිරිහීම පමණකි.
මාලදිවයින, ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව, වැනි බොහෝ රටවල් අතීතයේ දී මහා බෞද්ධ රාජ්යයන් ය. එහෙත් ඒ සියල්ල අද වන විට බිඳ වැටී ගොස් ඇත. ඊට ප්රධාන වශයෙන් බලපා ඇත්තේ, මේ ආකාරයේ විවිධ පුදපූජාවන් කෙරෙහි විමසුමකින් තොරව ඇදී යාමය. ඒ තුළින් මිනිසුන්ගේ ධනය දිනෙන් දින විනාශයට පත් කරවන අතර, අවසානයේ විවිධ හොරමැරකම් කර හෝ, එම පූජාවන් සඳහා සහභාගී වීමට ජනතාව හුරු කරවීමක් මෙහිදී සිදුවේ. එමනිසා අප මෙම තත්ත්වය නුවණින් අවබෝධ කර ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ හැමවිටම දේශනා කරන ලද්දේ, “දැහැමින් උපයා ගන්න. නිවැරදිව වියපැහැදම් කරමින් ජීවත් වන්න” යනුවෙනි. සැබෑ බෞද්ධ පූජාව ඇත්තේ එතැනය. එය අප නිසි පරිදි වටහා ගත යුතුය. එසේ නොවුණහොත්, ඉහත කී රටවල්වලට සේම අපටත් අපගේ බුදුදහම නැති වී යන්නට තවත් වැඩි කාලයක් ගත නොවෙනු ඇත.
හෑගොඩ විපස්සි හිමි