Home » පුවත් පත් ප්‍රකාශන » බුදු හාමුදුරුවෝ කංසා ගැන තුන් පිටකයේවත් කියා නෑ

බුදු හාමුදුරුවෝ කංසා ගැන තුන් පිටකයේවත් කියා නෑ

බෙංගමුවේ නාලක හාමුදුරුවෝ ජනවාරි 31 දා ‘‘සති අග අරුණ’’ට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් වදාළේ බුදු හාමුදුරුවෝ කංසා ඖෂධයක් හැටියට අනුමත කළ බවය. උන්වහන්සේගේ එම ප්‍රකාශය පිළිබඳ අප වෙත කරුණු පැහැදිලි කිරීමක් එවා ඇති රත්මලාන ධර්ම පර්‌යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්ස හාමුදුරුවෝ කංසා සම්බන්ධ කිසිදු වචනයක් තුන් පිටකයේ නැති බව අවධාරණය කරති. මේ උන්වහන්සේ අප වෙත එවා ඇති පිළිතුරය.

කංසා ඖෂධයක් වශයෙන් පාවිච්චි කිරීමටත්, කංසාවලින් කළ සිවුරු පරිහරණය කිරීමටත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බව මහාවග්ගපාලියේ ඇතුළත් වේ යැයි ගෞරවාර්හ බෙංගමුවේ නාලක නායක හාමුදුරුවෝ ගිය සතියේ ‘‘සති අග අරුණ’’ට ප්‍රකාශ කළහ. උන්වහන්සේ ත්‍රිපිටකය පිළිබඳ ප්‍රමාණවත් දැනුමකින් හෙබි බහුශ්‍රැත පඬිරුවනකි. එහෙත් උන්වහන්සේ “භංග” ශබ්දය හා “භංගා” ශබ්දයේ වෙනස නොවිමසා ඉහත සාවද්‍ය අර්ථකථනයට යොමු වී ඇති බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුත්තේය. සාමාන්‍ය ජනයා පමණක් නොව ධර්ම විනය දැනගත් කෙනකු වුවත් ඉහත සාවද්‍ය අර්ථවිවරණයෙන් නොමග යා හැකි බැවින් එය නිවැරදි කිරීම පිණිස ධර්ම ශාස්ත්‍රීය ලෙස අර්ථකථනය ප්‍රකට කිරීම මේ ලිපියේ එකම අරමුණ වේ.

මෙම ලිපිය ආරම්භයේ දීම අවධාරණය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ, වාතාබාධ රෝගවල දී කංසා තැම්බූ හුමාලයෙන් දුම් අල්ලන ලෙසත්, කංසා රෙදිවලින් කළ සිවුරු පෙරවීමට අනුදැන වදාළ බවත් මහාවග්ග පාලියේ භේසජ්ජක්ඛන්ධකයේ පමණක් නොව සූත්‍ර-විනය-අභිධර්ම යන තුන් පිටකයේවත්, සමන්තපාසාදිකා, විසුද්ධිමග්ග ආදී අටුවා ග්‍රන්ථවලත්, සාරත්ථදීපනී, කංඛාවිතරණි ආදී ටීකා ග්‍රන්ථවලත්, වෙනත් ථෙරවාදී පාලි ග්‍රන්ථවලත් අන්තර්ගත නොවන බවයි. තව ද බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තන ග්‍රන්ථවල සිවුරුවර්ග පහක් ගැන විතරයි සඳහන් වන්නේ යන උන්වහන්සේගේ ප්‍රකාශය ද නිවැරදි නැත. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ ඉතා පැහැදිලිව සිවුරු වර්ග 6ක් තිබේ යැයි පරිවර්තනය කොට ඇති බවත් ප්‍රකාශ කළ යුතුයි. මහාවග්ග පාලියේ සඳහන් පුල්ලිංග හෝ නපුංසකලිංග වාචී “භංග” ශබ්දයත් සංස්කෘත භාෂාවේ එන කංසා පර්යාය ස්ත්‍රී ලිංග වාචී “භංගා” ශබ්දයත් පටලවා ගත් බැවින් ගෞරවාර්හ බෙංගමුවේ නාලක නාහිමියෝ මෙසේ සාවද්‍ය අර්ථකථනයට එළඹී ඇත්තාහ.

වාතාබාධයකින් පීඩා වින්ද පිලින්දිවච්ඡ හාමුදුරුවන්ට එයින් මිදීමට ප්‍රතිකාර කළ යුතු අයුරු විනය පිටකයට අයත් මහාවග්ගපාලියේ භේසජ්ජක්‍ඛන්ධකයේ ඇතුළත් වන්නේ මෙසේ ය. එනම්,

“තේන ඛො පන සමයෙන ආයස්මතො පිලින්දිවච්ඡස්ස අංගවාතො හොති භගවතො එතමත්‍ථං ආරොචෙසුං “අනුජානාමි භික්ඛවෙ සේදකම්ම”න්ති නක්ඛමනීයො හොති -පෙ- අනුජානාමි භික්ඛවෙ, භංගොදක”න්ති -පෙ-”

තේරුම :

“එකල්හි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ට අංගවාතයෙක් (ඇඟරුදාවක්) වේ. භග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “මහණෙනි, ස්වේද (ඩහ ගැන්වීම) අනුදනිමි”යි. නොඉවසිය හැක්කේ වේ -පෙ- මහණෙනි, කොළ වර්‍ගවලින් ස්වේද ගැන්වීම අනුදනිමි”යි පහසු නොවේ. -පෙ- “මහණෙනි මහාස්වේද ගැන්වීම අනුදනිමි’යි. පහසු නොවේ. -පෙ- මහණෙනි (ස්වේද ගැන්වීමට) කොළ තැම්බූ දිය අනුදනිමි’යි. පහසු නොවේ. භග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. මහණෙනි (ස්වේද ගැන්වීමට) දියකොටුවක් අනුදනිමි.”

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ මහාවග්ග පාලියේ දෙවන කොටසින් ඉහත පාලි ඡේදය අඩු වශයෙනුත් එහි තේරුම සම්පූර්ණ වශයෙනුත් මෙහි උපුටා දක්වා ඇත.

එහි කිසිම තැනක කංසා හෝ කංසා පර්යාය නැතහොත් කංසා වචනයට සමාන කිසිම පදයක් තිබෙනවා දැයි පරීක්‍ෂා කරන්න. එසේ නැත. එම නිසා 2021. 01. 31 ඉරිදා අරුණ පුවත්පත් සාකච්ඡාවේ දී “භේසජ්ජක්ඛණ්ධකයේ සඳහන් ආකාරයට පිලින්දිවච්ඡ කියන හාමුදුරුවන්ට නියම කරලා තියෙනවා කංසා තැම්බූ වතුරෙන් හුමාලය අල්ලන්න…” යනුවෙන් ගෞරවාර්හ බෙංගමුවේ නාලක නාහිමියන්ගේ ප්‍රකාශය සපුරා සාවද්‍ය බව පැහැදිලි වේ.

මේ පිළිබඳව තවදුරටත් කරුණු කිහිපයක් පැහැදිලි කළ යුතුයි. භේසජ්ජක්ඛණ්ධකයේ දී බුදුරරජාණන් වහන්සේ වදාළ “අනුජානාමි භික්ඛවේ භඞිගොදකං” යන දේශනා පාඨය බුද්ධජන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ පරිවර්තනය කරනු ලබන්නේ” මහණෙනි, (ස්වේද ගැන්වීමට) කොළ තැම්බූ දිය අනුදනිමි” යනුවෙනි. එම නිසා “භංගෝදක” යනු කොළ තැම්බූ ජලයයි.

සමන්තපාසාදිකා නම් විනය අටුවාව භංගෝදක යන පදය විචාරණයකරන්නේ “භංගෝදකන්ති නානාපණ්ණභංග – කුථිතං උදකං තෙහි පණ්ණෙහි ච උදකෙන ච සිඤ්චිත්වා සෙදෙතබ්බො”

භංගෝදක යනු නොයෙක් කොළ අතු කිණිති කඩා දමා වතුර කකාරවා නැතහොත් නටවා ගත් ජලයයි. එම කොළවලින් වතුර ඇඟට ඉස ගනිමින් ඩහදිය ගැන්වීම එම අටුවා පාඨයේ අදහසයි. භංගෝදක යන වචනය භංග + උදක යනුවෙන් විසන්ධි වේ. මෙහි පුල්ලිංග වාචි භංග ශබ්දය මිස “භංගා” ශබ්දයක් නැති බව මනාව තේරුම් ගත යුතුයි.

අපේ නාහිමියන් කංසා පිළිබඳ ඉදිරිපත් කරන දෙවන සාවද්‍ය ප්‍රකාශනය මෙසේය.

“සිවුරු වර්ග 6 ක් තියෙනවා. කිව්වට බුද්ධජයන්ති පරිවර්තනවල සඳහන් වෙන්නේ සිවුරු වර්ග 5 ක් ගැන විතරයි….. මේ බව කියන කංසා (භංගං) සිවුර ගැන සඳහනක් එහි නැත. භංගං කියන වචනයේ තේරුම මම සොයා ගත්තේ ශබ්ද කෝෂ පරිහරණය කරලා” අරුණ 2021. 01. 31

ගෞරවාර්හ නාලක නාහිමියන් මේ ප්‍රකාශ කරනු ලබන්නේ මහාවග්ගපාලියේ චීවරක්ඛන්ධකයේ දේශනා පාලියේ සිවුරු වර්ග හයක් සඳහන් වුවත් සිංහල පරිවර්තනයේ සිවුරු වර්ග 5 ක් පමණක් ඇති බවත් ය. මේ කතාව ඇත්ත දැයි විමසා බලමු.

සය වැදෑරුම් සිවුරු වර්ග පිළිබඳ මහාවග්ග පාලියේ චීවරක්ඛන්ධකයේ අදාළ දේශනාපාලිය හා සිංහල පරිවර්තනය ඒ අයුරින් ම පහත දැක්වේ. “අනුජානාමි භික්ඛවේ, ඡ චීවරානි : ඛොමං කප්පාසිකං කොසෙය්‍යං කම්බලං සාණං භඞිග”න්ති” එහි සිංහල පරිවර්තනය “මහණෙනි, කොමු පිළි, කපු පිළි, පටපිළි, කම්බිලි, හණවැහරි පිළි, මේ පස් නූලෙන් මුසු පිළි යන සිවුරු සයක් අනුදනිමි.”

අම්බලන්ගොඩ ශාස්ත්‍රොදය පරිවෙණාධිපති පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල මහනාහිමියන් විසින් පරිවර්තිත මහාවග්ග පාලියේ කිසිදු පරිවර්තන දෝෂයක් නැත. එම පරිවර්තනයේ සිවුරු වර්ග සය ඉතා පැහැදිලිය. තවදුරටත් එය මෙසේ දැක්විය හැකියි.

ඡ චීවරානි – සය වැදෑරුම් සිවුරු (1) ඛොමං – කොමු පිළි (2) කප්පාසිකං – කපු පිළි (3) කොසෙය්‍යං – පට පිළි (4) කම්බලං – කම්බිලි (5) සාණං – හණවැහැරි පිළි (6) භංගං – මේ පස් නූලෙන් මුසු පිළි

මෙහි හය වැනි වර්ගයට අයත් සිවුරු මසා ගන්නේ ගෞරවාර්හ නාලක නාහිමියන් කියන වර්ගයේ නූල්වලින් නම් නොවේ. කොමු නූල්, කපු නූල්, පට නූල්, කම්බිලි හණවැහරි නූල් යන පස්වර්ගයේ ම නූල්වලින් මැසූ සිවුරු භංග සිවුරුයි. එම නිසා සිංහල පරිවර්තනයේ “මේ පස් නූලෙන් මුසු පිළි” යනුවෙන් හය වැනි සිවුරු වර්ගය නම් කොට ඇත. සමන්තපාසාදිකා අටුවාවේ “භංග යන පදය විවරණය කරන්නේ “භංගං නාම පඤ්චහි සුත්තෙහි මිස්සෙත්‍වා කතං” යනු විසිනි. එම නිසා උන්වහන්සේ තේරුම් ගත් හැටි වැරදියි.

“භාවප්‍රකාශනී” පූර්ව භාගයේ පාඨයක් උපුටා දක්වමින් “ශබ්දකල්පද්‍රැම” නම් සංස්කෘත මහා කෝෂ ග්‍රන්ථයේ භංගා ශබ්දය ස්ත්‍රී ලිංග වාචී ලෙස දක්වයි. එම ස්ත්‍රි ලිංග භංගා ශබ්දය කිසිදු පාලි ග්‍රන්ථයක දක්නට නොලැබේ. එම නිසා කංසා හා සම්බන්ධ කිසිම අදහසක් තුන්පිටකයේ හෝ අටුවාවෙන් හෝ ටීකාවෙන් හෝ වෙනත් පාලි ග්‍රන්ථයකින් උපුටා දැක්විය නොහැකියි අපේ අනුමානයයි. වළඳන පාත්‍රය, රත්‍රන්, කහවණු ආදී අර්ථ ඇති අකාරාන්ත කංස ශබ්දය මේ සමග පටලවා නොගත යුතුයි.

සංස්කෘත භාෂාගත කංසා හැඳින්වීමට භංගා මාතුලානී, මාදිනී, ගඤ්ජා, විජයා, ත්‍රෛලොක්‍යවිජයා සිද්ධී, පිත්තා, ග්‍රාහිණි, පාචනී ආදී වචන රාශියක් දක්නට ලැබේ. භංග, භාං වශයෙන් හින්දි භාෂාවෙන් ද, ගාංජ, භාංග්, සිද්ධී යනුවෙන් බෙංගාලි භාෂාවෙන් ද, පංගී, කන්ජා වශයෙන් ද්‍රවිඩ භාෂාවෙන් ද හැඳින්වෙන කංසා ශාකය සඳහා පාලි භාෂාවෙන් තද්භව හෝ තත්සම හෝ නිෂ්පන්න හෝ ශබ්දයක් නැත්තේ ඒ හා සම්බන්ධ බුද්ධ දේශනාවක් නොමැති හෙයිනි.

උපුටා ගන්නා ලද මුල් පුවත්පත් ලිපිය​  Aruna epaper  … පිටුව​ 17, දිනය​ 07-02-2021