Home » පුවත් පත් ප්‍රකාශන » අලුත් ආණ්ඩුවට පැවරෙන වගකීම

අලුත් ආණ්ඩුවට පැවරෙන වගකීම

kalinaලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රට රාජ්‍යවල නූතන පරිපාලනය සඳහා සම්මත කරගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ‍පොදු මහජනතාවගේ අදහස් පරිදි, කැමැත්ත පරිදි වසර පහකට (05) හෝ ඊට ආසන්න කාලසීමාවක් තුළ තම මාතෘ භූමියෙහි පරිපාලන කටයුතු කවුරුන් විසින් කෙසේ කළ යුතුද යන්න, තම තමන්ගේ පැන්සල් ඉරෙන් ලකුණු කරන කතිරයෙන් තෝරා ගැනීම දැන් පවතින චාරිත්‍රයයි. පුරාණ කාලයේ තමන් කපා කොටා මරාගෙන ජීවිත හා සම්පත් විනාශ කරගෙන පාලන බලය ලබා ගැනීම නූතන ලෝකය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සාමකාමීව සිහිකල්පනාවෙන් යුතුව තම රටේ පරිපාලනය කෙසේ කරගත යුතුද යන්න වසර 05කට හෝ 6කට වතාවක් ජනතාව විසින්ම තෝරා පත්කර ගැනීම 1932 වර්ෂයේ සිට අද දක්වාම ඉකුත් අවුරුදු 70ක පමණ කාලයක් තුළ විටින් විට කරගත් පරිදි ඊයේ දවසේද අපේ රටේ ජනතාව විසින් ඉතා පැහැපත්ව හා සාමකාමීව සිදුකර ගැනීම අවසන් විය. මේ දිනවල රටේ ජනතාව වශයෙන් අපි කවුරුත් සිංහල, දෙමළ, මුස්ලිම් – බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් වශයෙන් හෝ වෙනස්කම් වලින් තොරව සිතා පවතින සාමකාමී අයුරින්ම මේ උදාර නිහඬතාවය, සාමකාමීත්වය පවත්වාගෙන යා යුතු බව අපේ ගරුතර මහ සංඝරත්නයේ එකම අරමුණ බව, ඉල්ලීම බව සඳහන් කළ යුතුය.

අපි ජයග්‍රහණය කළෝ වෙමු, අපි පරාජිතයෝ වෙමු යන හැඟීමක් ඇතිකර නොගෙන සහෝදරත්වයෙන් ජය පරාජය විඳ දරාගෙන බෙදා හදාගෙන ශිෂ්ඨ සම්පන්න ජනතාවක් වශයෙන් දැන් අප වෙත පැවරී තිබෙන පරම පවිත්‍ර වගකීම බව සැලකිය යුතුය.
බලයට පත්වන කවර පක්ෂයක් වුවද ඉතා විනීත අයුරින් රටේ පරිපාලනය කරගෙන යාමට හදවතින්ම මැදිහත් විය යුතු අතර අපේ උත්සාහය අසාර්ථක වූයේ යැයි පසුබෑ පිරිසද කිසිසේත් නොසිතිය යුතුය.
අගමැතිවරයා වාර ගණනාවකදී ප්‍රකාශ කළ පරිදි බලයට පත් නොපත් සියලු දෙනාම එකතුව ක්‍රමවත් සැලැස්මක් යටතේ ජනතාව දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාලන තන්ත්‍රයට අයත් ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු මැති ඇමැතිවරුන්ගේ යුතුකම විය යුතුය. රටේ ජනතාව මහජන මන්ත්‍රී මණ්ඩලයට තෝරාගනු ලැබූ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් හා මන්ත්‍රීවරියන්ගෙන් බලා‍පොරොත්තු වන්නේ ප්‍රධාන වශයෙන් එම කාරණයයි.
අද ලෝකයේ සෑම රටකටම දේශීය විදේශීය වශයෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවී ඇත. අපේ රටටද ඒ එසේමය. එබැවින් අපේ නව පාලන පක්ෂය අති උසස් අයුරින් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුව පවතියි. දශක ගණනාවක සිට, බිහි කරන ලද, ජනතාවගේම විය පැහැදමෙන්, අධ්‍යාපනය ලබාදීම පිණිස පාසල් හා විශ්ව විද්‍යාල මගින් බිහිකරන ලද. වැදගත් දැන උගත් පිරිසක් සමාජයේ කැපී පෙනෙන පරිදි ජීවත්වීම නිදහස් ලංකාව ලද අතිමහත් වාසනාවන්තකමත් බව නොකියාම බැරිය. මෙවන් අවස්ථාවන්වල ජය පරාජය පිළිබඳ වැරදි අදහස් ඇතිකර නොගෙන අපි සියල්ලෝම අපේ මාතෘ භූමිය රැකගනිමු, ඉදිරියට ගෙන යමු, ලෝකයේ ආත්මාභිමානයෙන් යුතුව සදාචාර සම්පන්න බුද්ධිමත් පිරිසක් බවට ලෝකයට පෙන්වමුයි යන අධිෂ්ඨානය සෑම දෙනාම මේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වන අවස්ථාවේ දැඩි ලෙස අධිෂ්ඨානයෙන් යුතුව වගබලා ගත යුතු බව හදවතින් නැගී එන කරුණා මෛත්‍රියෙන් යුතුව ප්‍රකාශ කරමි. ජනාධිපතිතුමන්ගේ හා පක්ෂ නායකයන්ගේ දැක්ම ක්‍රියාත්මක කළ හැකිවන්නේ එවිටය.

– රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමි

රජයක් බලයට පත්වන්නේ චිරාත් කාලයක් පැවැති චාරිත්‍ර හා අනන්‍යතාවයන් පවත්වා ගෙන යාමටයි. ව්‍යවස්ථාව බලවත් කිරීම ඒ රජයේ වගකීමකි. රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගෙන්නේ ඒ රටේ ඓතිහාසික සිද්ධාන්ත පදනම් කරගෙනය. ඒ තුළ ඒකීය රාජ්‍ය පරමාධිපත්‍ය වැනි කරුණු ගැන සඳහන් වෙයි. ඒවා බලවත් කිරීම රජයේ වගකීමකි.

විශේෂයෙන් ජනතා පරමාධිපත්‍ය කිසිදු ආකාරයකින් උල්ලංඝනය නොකළ යුතුයි. එසේ නොවුණොත් එකිනෙකාට චෝදනා කරනවා මිස වැරදි නිවැරදි කෙරෙන්නේ නැහැ. පත්වෙන රජය විවිධ සැමරීම් සඳහා ධනය නාස්ති කරනවා වෙනුවට ජනතාවගේ සුබසාධනය සඳහා සම්පත් යොදා ගැනීම කෙරේ අවධානය යොමු කළ යුතුයි. ධනය අපහරණය නොකිරීමට වගබලා ගැනීම ඉතාම වැදගත්.

ඒකීය රාජ්‍යත්වය ආරක්ෂා කරන අතරේ නොයෙකුත් බලවේගවලට යට නොවී පුද්ගල සංවර්ධනය කළ යුතුයි. අමාත්‍යවරු පත්  කළ විගස හිතුමතේ තම තමන්ගේ අමාත්‍යංශවල පත් කිරීම් කරනවා වෙනුවට ප්‍රතිපත්ති මත යහපත්ව කටයුතු කළ යුතුයි.

මේ දවස්වල නිතරම ජප කරන වංචාව, දූෂණය, හොරකම, මැරකම වගේ දේ නිරන්තරයෙන් ජප කරනවා වෙනුවට වැරදුණු තැන් නිවැරදි කරගෙන ධර්මානුකූලව රාජ්‍ය පාලනය කළොත් රටේ දියුණුව ඇති වීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකිය. පත්වෙන රජයට නිවැරදි තීන්දු ක්‍රියාත්මක කරන්න ආත්ම ශක්තිය තිබිය යුතුයි. ඕනෑම ප්‍රශ්නයකදී සමාජයට රජයට එය බලපාන ආකාරය සමබරව විමසා බලා තීන්දු තීරණවලට එළැඹිය යුතුයි.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට  පත්වෙන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කරගත යුතුයි. පාසල් දරුවන්ට මෙන්ම සමාජයට ආදර්ශමත් වන ආකාරයට වචන හැසිරීම් පාලනය කරගත යුතුයි. තමන් තුළ ඇති පහත් ගති, රුචිකත්වයන් හඳුනා ගෙන ඒවා සමනය කර ගනිමින් රාජ්‍ය පාලනයට උරදී ක්‍රියා කළ යුතුයි.

– ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා

ජනතාව බලා‍පොරොත්තු වෙන්නේ සහජීවනය මත ආණ්ඩු කිරීමයි. අද සිවිල් සමාජය රටේ දේශපාලන කරළිය තුළ කුමක්ද විය යුත්තේ කියන කාරණය ගැන දැනුවත්. ජනතාවට අවශ්‍ය දැහැමි සහජීවන රටාවක්.

බුද්ධිමත්ව සිය අයිතීන් ගැන තේරුම් ගෙන සිටින ජනතාව පත්වෙන ආණ්ඩුවේ ජනප්‍රිය භාවයට සලකන එකක් නැහැ. ජනප්‍රිය භාවය රැක ගැනීමට අනිවාර්යයෙන්ම ජනතා සේවයේ නිරත වෙන්න සිදුවෙනවා.

මෙවර රටේ ප්‍රබල විපක්ෂයක් බිහිවෙන බව විශ්වාසයි. රටක විපක්ෂය ප්‍රබල වුණාම රජයකට හිතුමතේ තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අගතිය, පිරිහීම, දූෂණ, වංචා වගේ වචන නැවතත් පත්වෙන රජයකින් අහන්න ජනතාව සූදානම් නැහැ. ජනතා අපේක්ෂා සමග ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියත් රටේ දියුණුවත් සිදුවිය යුතුයි. ඒ ගමනේදී සෞඛ්‍ය, අධ්‍යාපන, අධිකරණය, රැකියා උත්පාදනය කෙරේ ජනතාව තබා ඇති විශ්වාසය පළුදු නොවිය යුතුයි.

හැම පුද්ගලයෙක්ම තමන් අද සිටින තැනින් පියවරක් හෝ ඉදිරියට යන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ නිසා ආණ්ඩුව ජනතාවට ඉදිරියෙන් පියවර හතරක්වත් ගමන් කළ යුතුයි. පත්වෙන රජය ඉදිරියේ විශාල අභියෝගයක් තියනවා.

සමාජය කතා කළ අගතිගාමී, සමාජයට අහිතකර දේ ඉවත් කරන්න, බලය අයුතු ලෙස පාවිච්චි නොකරන්න පත්වෙන රජය ක්‍රියා නොකළොත් එහි විපාක ඉදිරි මැතිවරණයකදී නැවත හිමි වෙයි.

ජනතාව සමග සෙල්ලම් කරන්න බැහැ. ඒ වගේම මාධ්‍ය තුළ බුද්ධිමත් කතිකාවතක් ඇතිවෙමින් තිබෙනවා. එය තවදුරටත් ඉදිරියට යයි. ඒ තුළ පත්වෙන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරදක් කර නිහඬව ඉන්න ජනතාව ඉඩදෙන  එකක් නැහැ.

– දෙහිවල කෝවි‍ලේ වෛදිස්වර කුරුක්කල්තුමා

සියලු ආගමිකයන්ට තම තමන්ගේ ආගම් බාධාවකින් තොරව ඇදහීමේ අවස්ථාව උදාකර දීම පත්වෙන රජයේ ප්‍රධාන වගකීමක්. මෙවර මැතිවරණය නිහඬව පැවැත්වෙන සාමකාමි මැතිවරණයක්. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කරනවා. පවතින ප්‍රචණ්ඩකාරීත්වයකින් තොර පරිසරය ගැන අපි සතුටු වෙනවා.

දෙමළ ජනතාවගේ යම් යම් ගැටලුකාරී ප්‍රශ්න තවමත් විසඳිලා නැහැ. ජාතියක් වශයෙන් එකට සිටගන්න මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ වගකීම පත්වෙන ආණ්ඩුව සතුයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින ආරක්ෂක විධිවිධාන ලිහිල් කර ජනතාවට දෙවියන් නැමඳීමේ පූජාවල් නිදහසේ පැවැත්වීමේ හැකියාව ලබාදිය යුතුයි. නැවත යුද්ධයක් හෝ වෙනත් ගැටුමකට රට ඇදගෙන යන තත්ත්වයක් නිර්මාණය නොවීමට රජය වග බලා ගත යුතුයි.

මාබෝල, වත්තල දාරුල් කිරාත් අරාබි විදුහ‍ලේ අධ්‍යක්ෂ අශේක් මහුසුක් අබ්දුල් “හුසේනි” මව්ලවිතුමා අලුතින් පත්වන රජය කුමන පක්ෂයකට අයත් වුවත්, එය ජනතා සේවය වෙනුවෙන්ම කැපවූ රජයක් විය යුතුයි. නව රජයේ මැති ඇමැතිවරු තම පෞද්ගලික වාසි ලාභ ප්‍රයෝජන ගැන නොසිතන රට හා රටවැසියන්ගේ හිතසුව පිණිස කටයුතු කරන පුද්ගලයන් විය යුතුයි.

එසේම නීතියේ ආධිපත්‍ය රට තුළ විධිමත් පරිදි තහවුරු කරලීමට නව රජය මූලිකත්වය දී කටයුතු කළ යුතුයි.

අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්‍ෂේත්‍ර වෙත වැඩි අවධානයක් යොමු කරලීමටත් විශේෂනේම අය වැය හරහා එම ක්‍ෂේත්‍ර වෙත වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමටත් කටයුතු යෙදිය යුතුයි.

ආගම් අතර සංහිඳියාව ගොඩනැංවීමටද අලුතින් පත්වන රජය මූලිකත්වයක් දී කටයුතු කළ යුතුයි. පසුගිය කාලයේ ආගමික සංහිඳියාව සම්බන්ධව විවිධ ගැටලුකාරී තත්ත්ව මතුවුණා. එය රටේ අනාගත අභිවෘද්ධියට අහිතකර ලෙස බලපානවා. රටේ ජාතීන් හා ආගම් අතර සමගිය හා එකමුතුව ගොඩනැංවීම රජයේ වගකීමක් වන බව අමතක නොකළ යුතුයි.

දූෂණය, වංචාව පසුගිය කාලවලදී විශාල වශයෙන් රට තුළ ව්‍යාප්තව පැවතුණා. මේවාට වැරදිකරුවන් කවුරුන්ද යන්න සොයා බලා, ඔවුනට නිසි දඬුවම් දීමට නව රජය කටයුතු කළ යුතුයි. දැනටමත් ආරම්භ කර ඇති පරීක්ෂණ තවදුරටත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යා යුතුයි.

මෙහිදී මහජනතාවටත් වගකීමක් තිබෙනවා. නව රජය පත්කර පසෙකට වී බලා සිටීමට ජනතාවට බැහැ. නව රජයක් වැරදි මගක යනවා නම් ඊට එරෙහිව හඬ නැගීමට ජනතාව පෙරට යා යුතුයි.

උපුටා ගන්නා ලද්දේ-    //www.lakbima.lk/index.php?option=com_content&view=article&id=46960&catid=61&Itemid=77