Home » ධර්ම පර්යේෂණාලය ගැන » හෑගොඩ ‍ඛේමානන්ද හිමියෝ

හෑගොඩ ‍ඛේමානන්ද හිමියෝ

kemananda-thero[1]

ape-buduhamuduruwane-tag[1]භාරත අගමැති ජවහර්ලාල් ශ්‍රී නේරු තුමා ඒ රැස්වීමට පැමිණියේ මඳක් පමාවය. තරුණ භික්ෂුන් වහන්සේ නමක් සභාව අමතමින් සිටියේ ය. චතුර ලෙස හින්දි භාෂාවෙන් සභාව අමතන මේ කථිකයා කවුද? නොඅනුමානවම බුදු දහම වැලඳගත් හින්දි තරුණයකු විය යුතු යි….

අගමැතිවරයාට සිතිණ. සභාවේ සංවිධායකයෙක් එතුමා ඉදිරිපෙළ අසුනෙක හිඳවී ය.

අගමැතිවරයා මහත් වුවමනාවෙන් දේශනයට කන්දී සිටියේ ය.‍

“ලොවට සැබෑම සුවය ලැබෙන්නේ ථෙරවාදී බුදු දහමෙන්. ඒ සුවය කිසිදු ආගමකින්, දර්ශනයකින් ලැබෙන්නේ නැහැ…, දේශකයා කරුණු සහිතව සිය මනස තහවුරු වන සේ කතා කළේ ය.

අගමැති නේරුතුමාට ද සභාව ඇමැතීමට ඇරැයුමක් ලැබිණ.

“අද දවස මට හරිම වාසනාවන්තයි. ඉතා නිවැරැදි රසවත්, අර්ථවත්, හින්දි බසින් බුදු දහමේ ගැඹුරු කාරණා රැසක් මට අසන්නට ලැබුණා. ඇත්තටම මා මුලදී සිතුවේ මෑතකදී බුදු දහමට පැහැදී පැවිදි වූ හින්දි තරුණයෙක් කියලයි. මා ළඟ සිටි භික්ෂුන් වහන්සේ මට කීවා මේ දේශකයා ලංකාවේ කෙනෙකු බව. මේ තරම් හොඳින් හින්දි භාෂාව බස වහර කරන්නට ඔබ වහන්සේ ඉගෙන ගත්තේ කොහොමද? ඔබ වහන්සේ බුදු දහමේ ගැඹුරු තැනකට අප ගෙන ගියා. මා බුදු දහම හැදෑරූ ඊට ගරු කරන කෙනෙක්. අද මගේ සිත ඔබ වහන්සේගේ දේශනය අසා පිබිදුණා…”

මේ මහා විද්වතුන්ගේ රුස්වීම පැවැතියේ 1958 දී ඉන්දියාවේ බිහාර් විශ්ව විද්‍යාලයේ දී ය.

විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධානය සභාපතිවරයා වූ මේ තරුණ දේශකයා ශ්‍රී ලංකාවේ හෑගොඩ ඛේමානන්ද හිමියෝ ය.

* * * * * * * * * * * * *

ඛේමානන්ද හිමි 1920 දෙසැම්බර් 29 වැනිදා ගාල්ලේ හෑගොඩ දී උපන්නේ ය. ගිහි නම සුබසේන ය. ගොවියකු වූ පියා වක්වැල්ල ගමගේ ජිනදාස මහතා ය. කලන්සූරියගේ ජිනෝහාමි මහත්මිය මව ය.

හෑගොඩ මෙතෝදිස්ත විදුහලේ හත්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ සුබසේනගේ සිත වඩාත් යොමු වූයේ පැවිදි ජීවිතයට ය. හෑගොඩ නිග්‍රෝධාරාමයේ අසුර මැනවින් ලැබූ ඔහුගේ මව සහ පියාගේ ජීවිතය දැහැමි විය‍. කතා බහ ජාතක කතා සහ බණ දහම්වලින් පිරී තිබිණ. නිවසේ දී, ගමේදී සුබසේනට නිරතුරු තේරුවන් ගුණා ඇසිණ. ගමේ පන්සලේ විහාරගෙයි. බුදුරුව අසලදී ඔහුගේ සිත මහත් සැනසිල්ලක පසුවිය.‍

“මා පැවිදිවෙනවා… ඔහු මවට ද, පියාට ද කීය.

ඉතා කුඩා සන්දියේ සිට තෙරුවනට ඔහුගේ ඇති ලැදියාව දෙමවුපියෝ දුටුවහ. පැවිදිවීමට මාපිය අවසර ලැබිණ.‍

hegoda-vipassi-thero[1]සුබසේන 1933 සැප්තැම්බර් 28 වැනිදා හෑගොඩ ඛේමානන්ද නමින් පැවිදි විය. ඒ හෑගොඩ නීග්‍රෝධාරාමයේදී ය. පැවිද්ද ලබාදුන් උපාධ්‍යා‍යයන් වහන්සේ වූයේ ලේල්වල ශ්‍රී පියරතන හිමියෝ ය. හෑගොඩ ජිනරතන, හෑගෙඩ සුමනතිස්ස යන හිමිවරු ආචාර්යයන් වහන්සේලා වූහ.

වසරකට පන්සලේ වත්පිළිවෙත් පුරමින් සිටි ඛේමානන්ද පොඩි හාමුදුරුවෝ වැඩි හිටි හිමිවරුන් ගේ සිත් දිනූහ. උන්වහන්සේට අවවාද දීමක් අවශ්‍ය නොවී ය. ඇදුරු හිමිවරුන් අනුව යමින් වත්පිළිවෙත් පිරූහ. ළමා වියේ සිට යහපත් සිහියෙන් ශික්ෂණයෙන් පොඩි හාමුදුරුවෝ දිග ගමනක් යන බව පෙන්වූහ.

1934 දී ඉඳුරුවේ කටුකොලියේ සද්ධර්මෝදය පිරිවෙනේ ශිෂ්‍යයකු වූ උන්වහන්සේ සෑම පන්තියකදීම, සෑම විෂයකින් ම පළමුවැනියා වෙමින්, ප්‍රාචීන විභාගයෙන් ද ඉහළම ලකුණු ලැබීය. ගුරු සිත් සොම්නසින් පිරවූහ.

සිංහල – පාලි සංස්කෘත භාෂා තුනෙන් ම උන්වහන්සේ හපන්කම් පෑවේ එක අයුරිනි. ඒ භාෂා තුනෙන් ලිවීමේ, කතා කිරීමේ ඉහළ දස්කම් පෑහ.

උන්වහන්සේ සාමනේර වියේ දී ද දින පොත් භාවිතා කළහ. සිදුවීම් වාර්තා කළේ සංස්කෘත භාෂාවෙනි. සංස්කෘත ශ්ලෝක වලිනි.

සොළොස්වන වියේ දී ඛේමානන්ද හිමියෝ පැපොල රෝගයට ගොදු වී ‍රෝහලක නතර වූහ. පිරිවෙන්පති හිමියනට ඒ බව තැපැල්පතක් මගින් දැන්වූයේ මෙසේ ය.

“මිහිරි වූවද පලතුරක් ලෙස
අමිහිරියි එය රෝගයක් ලෙස
සුවය ලද පසු පිරිවෙනට එමි
සමිඳු පා යුග බැතින් නමදිමි”

පිරිවෙනට පැමිණ සිවු වසක් ගෙවුණු දා උන්වහන්සේ මෙසේ දින පො‍ෙත් ලියූහ.

1941 – 01 – 01 වැනිදා දිනපොත් සටහන මෙසේ ය‍‍. එදා රටටම වැසි වැස්සේ ය.‍;

“ශ්‍රී රස්තුනේ ජසුමිනි ප්‍රවද්‍යා
සංගර්ජිතෛරද්‍රා සනෛඃ කලාපෛඃ
ප්‍රවෘද්ධිහි රාශිර්ජල බින්ද්‍රධා‍ෛරර්
ලංකේය මාරි ද්‍රි කෘත භූමි රාශින්”

(“ඔබට අද නිතර සිරිසෙත වේවා” කියා ආසිරි පතන ලද වැසි බිඳු දහර ඇති වලාකුළුවලින් යුත් වර්ෂාවෙන් ලංකාව තෙත් වී ගිය භූමියක් විය.)

1942 දී ඛේමානන්ද හිමියෝ මල්වතු මහා විහාරයේදී උපසම්පදා වූහ. වැලිවිට ශ්‍රී සරණංකර අනුනා හිමියෝ ඒ සඳහා උන්වහන්සේගේ උපධ්‍යායයන් වහන්සේ වූහ. ආචාර්යයන් වහන්සේලා වූයේ හෑගොඩ ජිනරතන, කළුතර ඥානවිමල, හෑගොඩ සුමනතිස්ස යන හිමිවරු ය‍. ඒ වර්ෂයේදී උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූහ. 1943 දී අවසාන ප්‍රථම පරීක්ෂණයෙන් ත්‍යාග සහිතව ගෞරව පන්තියේ ප්‍රමුඛයා වූ උන්වහන්සේ 1944 අවසාන ද්විතීය පරීක්ෂණයෙන් ද උසස් ම සාමාර්ථය ලැබූහ.

උන්වහන්සේ ගැන ‘සිළුමිණ’ පුවත්පත මෙසේ පළ කළේ ය.

“දෙවිසි වියේදී ම පණ්ඩිත විභාගයේ ප්‍රාකෘත, තර්ක න්‍යාය, ඉතිහාසය, පුරාවිද්‍යාව, ශිලා ලේඛන, පාලි යන විෂයන්ගෙන් සමත්ව, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේහි ඉංග්‍රීසි භාෂාධ්‍යානයෙහි යෙදී සිට 1948 දී ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානයන්හි සැරිසරා ‘සම්බුද්ධ ජන්ම භූමි’ නම් වූ පරියේෂණාත්මක ග්‍රන්ථයක් ද බිහි කළ ලාබාල තරුණ පඬිවරයෙකි හෑගොඩ ඛේමානන්ද හිමියෝ…

හෑගොඩ ඛේමානන්ද හිමියෝ අගමැති ශ්‍රී නේරු සමඟ

හෑගොඩ ඛේමානන්ද හිමියෝ අගමැති ශ්‍රී නේරු සමඟ

1948 දන්දීමට වන්දනාවෙන් පසු ඒ ගමන සිහිවනු පිණිස උන්වහන්සේ ගිංතොට සහ හෑගොඩ ‘අශෝක ස්ථම්භ’ දෙකක් පිහිටුවූහ.

තමාට මඟ පෙන්වූ ආචාර්යපාදයන් වහන්සේලා මහත් බැතියෙන් පිදු අප හිමියෝ “මගේ ගුරු පඬුරක නමින් පොතක් ලියා උන්වහන්සේලා ගිංතොටට වැඩමවා පිදූහ. මහ උලෙළක් පැවැත්වූහ. මේ සද්ගුණය දුටු මල්වතු මහා විහාරය ඛේමානන්ද හිමියන්ට ‘චන්ද්‍රකීර්ති ශ්‍රී භාරතීශ්වරාචාර්ය” යන ‍ෙගෟරව උපාධිය පිදූහ. ඒ 1952 දීය.‍

ගාල්ලේ බෝපේ ශ්‍රී පියරතන පිරිවෙන පිහිටුවූ ඛේමානන්ද හිමියෝ පිරිවෙන්පති වශයෙන් ද සේවය කළහ. මාස 18 ක් තුළ මුල සිට පාලි භාෂාව උගන්වා ධම්ම පදට්ඨ කතාවට නිවැරැදිව අර්ථ දැක්විය හැකි ශිෂ්‍ය පිරිසක් තැනූහ. ඒ ශිෂ්‍යයන්ට ඒ දස්කම් සඳහා අගමැති ඩඩ්ලි සේනානායක මහතා ගෙන් තෑගි ලැබිණ.

1954 දී ඉන්දියාවේ බිහාර් විශ්වවිද්‍යාලයේ නාලන්දා උපාධි පර්යේෂණ ආයතනයට ඇතුළු වූ අප හිමියෝ එහිදී ආචාර්ය ඩිප්ලෝමා විභාගයෙන් ප්‍රථම පන්තියේ ප්‍රමුඛයා වී ස්වර්ණ මුද්‍රිකාව ද දිනාගත්හ. ශාස්තවේදී ගෞරව (ඉංග්‍රීසි) සහ ශාස්ත්‍රපති ප්‍රථම පන්ති සාමාර්ථය ද දිනූහ.

භාරතීය විදේශීය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්මේලනයේ සභාපතිවරයා වූ අප හිමියෝ හින්දි භාෂාවේ ප්‍රවීණත්වයක් ලැබූහ. බුදු දහම ඉතා සරලව හින්දි බසින් දේශනා කිරීමේ මහ සමත්කමක් උන්වහන්සේ ලැබූහ. ඒ නිසාම හින්දි තරුණයෝ විශාල පිරිසක් උන්වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දී බුදු දහම පිළිගත්හ.

අප මුලදී සඳහන් කළ පරිදි භාරත අගමැති ජවහර්ලාල් ශ්‍රී නේරුතුමා උන්වහන්සේ‍ දේශනයකට සවන් දී පැහැදුණාහ‍. අප හිමියන්ගේ ඇසුර නේරුතුමාට සතුටක් විය. දලයිලාමා තුමා, රාෂ්ටපති රාජේන්ද්‍ර ප්‍රසාද් තුමා, ජනාධිපති රාධක්‍රිෂ්ණන් තුළ සහ විජයලක්ෂ්මී මැතිනිය ඇසුරු කිරීමට ද උන්වහන්සේට හැකි විය.

1958 ශ්‍රී ලංකාවට වැඩම කළ අප හිමි‍පාණෝ මොනරාගල මහ විදුහලේ සහ බියගම මහ විදුහලේ සේවය කළහ.

අගමැති බණ්ඩාරනායක ඝාතනය සිදුවූයේ උන්වහන්සේ මොනරාගල මහ විදුහලේ සේවය කළ යුගයේ ය.

චීවර ධාරියකුගේ වෙඩි පහරින් අගමැතිවරයාගේ මරණය සිදුවූ පුවත රටේ පතළ විය. භික්ෂුන් වහ්නසේලාට පන්සලෙන් පිටතට වැඩ මකිරීම අපහසු විය. අප හිමියන්ට ද මොනරාගල මහ පාරේදී ඇතැම්හු උසුළු විසුළු කළහ.

“පිස්තෝලය කොයි දැÓයි ඇසූහ.ඇතැම් භික්ෂූහු මෙය දැරිය නොහැකි ව සිවුරු හැර දමා ගියහ.

අපේ හිමියෝ දෙදිනක් නිහඬව සිට මොනරාගල ගුරු දෙගුරු පිරිස් පාසලට කැඳවූහ. ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වූහ.

“එක ගිහියෙක් මිනිසකු මැරුවට සියලු මිනිසුන් මිනීමරුවන් සේ සලකනවාද?

“එක් චීවරධාරියකු කළ වරදට හැම භික්ෂුවක් ම වගකිව යුතු ද?”

“මෙතෙක් කල් සියවස් ගණනක් භික්ෂුව ජාතියට කළ සේවය අර වෙඩි පාරත් සමඟ ඔබ අමතක කරනවාද?” උන්වහන්සේ ඇසූහ.

ගුරු දෙගුරු පිරිස, සිසු දරු දැරියෝ කඳුළු පිරි දෑසින් අප හිමියන්ගෙන් සමාව ඉල්ලූහ.

“පිස්තෝලය කෝ? අසන්නෝ ඉන්පසු මහ පාරේදී උන්වහන්සේ ඉදිරියට නො ආහ.”

1961 දී අප හිමියෝ ගාල්ලේ විද්‍යාලෝක විශ්වවිද්‍යාල පිරිවෙන්පති වූහ. දිනක් ඒ පිරිවෙනේ ගුරුවරයකු සිංහල හෝඩිය ගැන ඉගැන්වූයේ කළු ලෑල්ලේ වැරැදි හෝඩියක් ලියා දක්වමිනි. අප හිමියෝ ගුරුවරයාට දොස් කීහ. විශ්ව විද්‍යාල උපාධිධරයකු වූ ඒ ගුරුවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනාටත් සියලු ශිෂ්‍යයන්ටත් පොදු පරීක්ෂණයක් පැවැත්වූහ.

සිංහල හෝඩිය සහ ඉංග්‍රීසි හෝඩිය ලියා දක්වන මෙන් ඔවුන්ට කීහ. එය අඩ පැයකින් කළ යුතු විය. ගුරු මණ්ඩලය සහ ශිෂ්‍යයෝ 484 කි. සිංහල හෝඩිය නිවැරැදිව ලියා දැක්වූයේ හතර දෙනකු පමණි. ඒ හතර දෙනාම ගුරුවරු ය. සියලු ශිෂ්‍යයෝ ම වැරදිය. එහෙත් ඉංග්‍රීසි හෝඩිය නිවැරැදිව ලියුවෝ 422 ක් වූහ.

අප හිමියෝ මහත් කම්පාවට පත්වූහ. සිංහල ගෞරව උපාධිධාරීහු ද සිංහල හෝඩිය නොදනිති. මේ පුවත සිළුමිණ කතුවරයා ට දී අසන්නට ලැබිණි. ඔහු හිමියන් හමුවී පිළිතුරු පත් ලබාගති.

හෝඩිය නො දත් උපාධිධාරී සිංහල ගුරුවරු බිහි වෙති”

සිළුමිණේ මහ පුවත වශයෙන් පළවිය. ඉන්පසු සිංහල බෞද්ධයා ඇතුළු අනෙක් පුවත්පත්වලට ද ඒ පුවත ගියේ ය. රට තුළ මහා ඝෝෂාවක් ඇතිවිය. ඒ ඝෝෂාව හෝඩි විප්ලවය නම් විය.

ඇතැම් සරසවිවලින් පිටවූ උපාධිධාරී ගුරුවරු පාසල් දරුවන්ට කාමුක හැඟීම් දනවන, ලිංගික කරුණු මතුකරන නවකතා අගය කොට පෙන්වූහ. මෙය රටපුරා පැතිරිණ. මේ පිළිබඳව ද අප හිමියෝ සිය අවධානය යොමු කළහ. ‍උන්වහන්සේ ගාලු නගර සභා භූමියට මහ පිරිසක් කැඳවූහ. ගෝනාපීනුවල පුඤ්ඤසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රුස්වීමක් පැවැත්වූහ.

“විෂමත් පැන් සහ දූෂිත ආහාර ගැනීමෙන් සිදුවන කායික විනාශයට වැඩි විනාශයක් මේ ‍අසභ්‍ය පොත් වලින් සිදුවේ. දූෂිත පොත් ඇති කරන බලපෑම් බොහෝ කාලයක් සිත්වල පවතී. පරම්පරා ගණන් විනාශ වේ.

මෙසේ කියමින් උන්වහන්සේ යළි උපන්නෙමි, කරුමක්කාරයෝ ඇතුළු පොත් රැසක් ගාලු නගර සභා පිටියේදී ගිනි බත් කළහ.

“මේ පොත්වලින් බිහිවන්නේ ජනතාවගේ ඇස් වලට ඇසිඩ් ගහන සාහිත්‍යයක්”

‍උන්වහන්සේ සිළුමිණට ලියූහ.

* * * * * * * * * * * * * * *

අප හිමිපාණන් අතින් ථෙරවාදී බුදු දහමේ අති විශිෂ්ට කෘතියක් “ථෙරවාද න්‍යාය” නමින් 1962 දී පළවිය.

මේ තරම් ගැඹුරු ලෙස සහ සම්පූර්ණ ලෙස ථෙරවාදය හඳුන්වාදෙන පොතක් නුදුටු බව මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීහු ප්‍රකාශ කළහ.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ප්‍රකාශයක් ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ මෙසේ පළ විය.

“මෙවැනි ග්‍රන්ථයක් නිර්මාණය කිරීම නම් ඉතා දුෂ්කරයි. මා ද නොයෙක් පොත් ලියා ඇති නමුත් මෙවැනි පොතක් ලිවීම නම් මටත් අමාරුයි. සිංහල රජකුගේ කාලයක නම් මුළු ලක්දිවින් ම මේ ග්‍රන්ථ කර්තෘ තුමන් පුදනු ඒකාන්තය.”

1963 දී උන්වහන්සේ මොරටුව වේල්ස්කුමාර විද්‍යාලයේ ධර්මාචාර්ය තනතුරට පත්වූහ. ඉන්පසු උන්වහන්සේ මොරටුවේ ආදර්ශ නගරයේ ධර්මපර්යේෂණාලය ගොඩ නැගූහ. එබඳු නවාතැනක් උන්වහන්සේට අවශ්‍ය වූයේ සද්ධර්මය පිළිබඳව කැපවීම සඳහා ය. ගුරු තනතුරෙන් ලැබූ වැටුපෙන් ඉතිරි කරගත් මුදලින් ම ඒ ගොඩනැඟිල්ල ඉදි කැරිණ.‍

දෙමහල් ගොඩනැඟිල්ලක් වූ එහි එක්කුටියක බුදු පිළිමයක් තැන්පත් කොට තිබිණ. ආරාම සඳහා සහන මිලට විදුලිය ලබාදීම පිළිබඳව ගොඩනැඟිල්ල පරීක්ෂා කිරීමට විදුලි ඉංජිනේරුවෙක් සිය පිරිස සමඟ හිමිවැඩ සිටි තැනට පැමිණියේ ය. ඔහු ගොඩනැඟිල්ල, අවට ද පරීක්ෂා කොට “කෝ බෝධියක්, කෝ චෛත්‍යයක්, කෝ විහාරයක්. මේක පන්සලක් නොවෙයි. සහන මිලට විදුලිය ලබාදෙන්න බැහැ” කීවේ ය.

අප හිමියෝ සන්සුන්ව මෙසේ කීහ.

“මහත්මයා මා භික්ෂුවක්. භික්ෂුවක් සිටින තැන පන්සල…. ඔච්චර අංග තියෙනවද බලන්න ඕන නැහැ.”

“ඒවා ඔක්කොම බලන්න ඕන හාමුදුරුවනේ”

“හොඳයි මහත්මයා ඔය එක එක පෝරම පුරවන කොට නම – වයස – ලියල ස්ත්‍රි පුරුෂ බවත් අහනවනේ. ඉතින් මහත්තය ස්ත්‍රි පුරුෂ බව පෙන්වන්න කවදාහරි කලිසම ගලවල තියෙනවද?”

ඉංජිනේරුවාගේ ගෝලයන්ට සිනාව පාලනය කරගත නොහැකි විය. ඔහු නිහඬව පොත පෙරළා යමක් සටහන් කළේ ය.

“ලොකු හාමුදුරුවනේ සහන මිලට විදුලිය දෙන්නම්…”

* * * * * * * * * *

වචනයෙන් දෙකෙන් ඕනෑම අයකු මෙල්ල කිරීමේ හැකියාව උන්වහන්සේ සතු විය. ග්‍රහ තාරකාවලට ගරු නොකළ අප හිමියෝ සිය ධර්ම පර්යේෂණාලය ගොඩනැඟුවේ නැකතට නොවේ. ඒ සඳහා මුල්ගල තැබුවේ 1963 ඇසල පුරපසළොස්වක පොහොයදා ය.

ගොඩනැඟිල්ල තැනීමට තමාගේ ගුරු වැටුපෙන් ඉතිරි කරගත් මුදලත්, ගොඩනැඟිලි සැලැස්මක් උන්වහන්සේ අතින් නැතිවිය. ඉතින් ගොඩනැඟිල්ල තනන්නේ කොහොමද? අප හිමියෝ කම්පා නොවූහ.

“ගොඩනැඟිල්ල තැනීමට මා මුදල් සම්මාදම් කළේ නැහැ. ඒ හැම සතයක් ම මගේ ම ශ්‍රමයේ ඵල. ඒ සාධාරණ මුදල් මා යොදවන්න සිටියේ සම්බුදු දහම වෙනුවෙන්. ධර්ම පර්යේෂණාලයක් ගොඩනැඟීමටයි. මගේ චේතනාව පවිත්‍ර නම් ඒ මුදල මට ආපසු ලැබේවි….”

මේ සිතිවිල්ල සත්‍ය ක්‍රියාවක් විය. මුදල නැතිවූ දා රාත්‍රි අපේ හිමිපාණන්ට දුරකථන ඇමතුමක් ලැබිණ. ඒ හෑගොඩ ධම්මින්ද නා හිමියන්ගෙනි.

“ඔබේ මුදලක් සහ ගොඩනැඟිලි සැලැස්ම නැතිවුණා නේද…” ධම්මින්ද හිමියෝ ඇසූහ.

“එහෙමයි”

“මෙන්න නොහඳුනන ටැක්ෂි ඩ්‍රයිවර් මහත්මයෙක් එය මට බාරදීලා ගියා.”

සතයක්වත් අඩු නැතිව ඒ මුදල ලැබිණ‍. සත්‍ය ක්‍රියාව සාර්ථක විය. ගිහියන් අතර ගැටුම් සංසිඳුවීමට උන්වහන්සේ කැපවූහ. මේ එක් උදාහරණයක් පමණි.

මොරටුවේ මල්ලිකා හෝටලය සහ විශාඛා හෝටලය අතර ගැටුමක් ඇතිවිය. සේවකයෝ එකිනෙකාට පහර දුන්හ. ලේ වඟුරුණාහ. ගැටුම දුර දිගට විහිදෙන බව පෙනිණ. අප හිමියෝ හෝටල් දෙකේ ම මුදලාලිලා හමුවූහ. පන්සලට එන්නැයි කීහ. ධර්මානුකූල අවවාද රැසක් මුදලාලිලාට දුන්හ.

“දැන් මල්ලිකා මුදලාලි විශාඛා මුදලාලි ගේ හෝටලයට ගිහින් දෙදෙනාම එක මේසයේ වාඩි වී සේවකයන්ට පේන්න තේ බොන්න. විශාඛා මුදලාලිත්, මල්ලිකා හෝටලයට ඇවිත් මල්ලිකා මුදලාලි සමඟ තේ බොන්න. හෝටල් දෙකේ ම සේවකයන්ට පෙනේවි මුදලාලිලා අතර ගැටුම ඉවර බව. ඊළඟට සේවකයොත් සමඟි වේවි.”

හිමිපාණන් වදාළ පරිදි මුදලාලිලා ‍කටයුතු කළහ. හෝටල දෙකේ ගැටුම් අවසන් විය‍.

* * * * * * * * * * *

දුප්පත් පොහොසත් දායකයන් ය කියා වෙනසක් උන්වහන්සේට තිබුණේ නැත. සියලු දෙනාට ම උන්වහන්සේ සමාන විය. සමානාත්මතාවය අකුරට රැකිණ.

ධර්මශාලාව විවෘත කිරීමට ලලිත් ඇතුළත් මුදලි ඇමැතිතුමාට ආරාධනා කොට තිබිණ. නියමිත දිනට පෙරදා එතුමාගේ ආරක්ෂක නිලධාරීහු අප හිමියන් හමුවීමට පැමිණියහ‍.

“ඇමැතිතුමා එනවිට ප්‍රධාන පාරේ සිට දිගටම පාර දෙපැත්තේ කොඩි එල්ලා සරසන්නට ඕනෑ. දවුල් හොරණෑ ඕනෑ”

නිලධාරීහු කීහ.

“ගේට්ටුව ළඟ ඔය බෞද්ධ කොඩියක් දාල තියෙන්නේ” හිමියෝ කීහ.‍

“එහෙම මදි – පාර දිගටම ඕනෑ

“මහත්තයෝ ඇතුළත්මුදලි කියන්නේ බෞද්ධයෙක්. දායකයෙක්. දායකයො පිළිගන්න අපි කවදාවත් පාරේ කොඩි එල්ලලා නැහැ. දවුල් ගහල හොරණෑ පිඹල දායකයන් පිළිගන්නෙත් නැහැ. ඒවා නැතිව බැරි නම් උන්නැහේ මෙහාට නාවාට කමක් නැහැ.”

නිලධාරීහු නිහඬව ගියහ.

කොඩි, දවුල්, හොරණෑ නැතිව ඇමැතිතුමා පසුදා පැමිණියේ ය. ධර්මශාලාව විවෘත කොට අප හිමිපාණන් ලියූ ‘ථෙරවාදී න්‍යාය’ පොත ගැන ද සඳහන් කෙළේය.

“ඒ පොත පළමු දිනවලම මා කියෙව්වා. ඒ වගේ උසස් කෘතියක් ලියූ හිමි නමක වැඩ සිටින තැනට පැමිණීමත් මට සතුටක්.”

* * * * * * * * * * *

අප හිමිපාණන්ගේ පැවිදි සහෝදර හෑගොඩ ඉන්දසාර නා හිමියන් සමඟ සාමනේර හිමිවරු 31 නමක් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කැරුණාහ. ඒ පුවත අප හිමියනට සැලවූ සැණින් උන්වහන්සේ ඉන්දසර හිමියන්ගේ ජීවිත කතාව ලියන්නට පටන් ගත්හ. එය මුද්‍රණය කොට ආදාහන උලෙළ දා බෙදාහැරීමට උන්වහන්සේ සිතූහ. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා උන්වහන්සේට හෙලිකොප්ටරයක් ලබාදෙන්න අම්පාරට වඩින්නැයි කීය. එය පිළිනොගත් හිමියෝ පොත ලියා මුද්‍රණයට බාර දී බසයෙන් ම හිමියෝ අම්පාරට යාමට පිටත්වූහ.‍

පන්සලෙන් එළියට බසින විට ම කුණු වැරහැලි ඇඳගත් සිඟන්නෙක් මුණ ගැසිණ.

“අසුබ ලකුණක්” කවුදෝ කීහ.

“හැමතැනම කොටින්ගේ බෝම්බ…. වෙඩි… ඔය ගමන යන්න එපා කියලයි ඔය අසුබ ලකුණ කියන්නේ.”

හිමියෝ එය නොපිළිගත්හ.

ග්‍රහ තාරකා නැකත් සුබ අසුබ පෙරමග ලකුණු උන්වහන්සේ නොතැකූහ.

බසයෙන් වැඩම කොට, අම්පාරේ ආදහන උලෙළ හොඳින් සංවිධානය කොට, අර චරිත කතාව ද උලෙළේදී බෙදා උන්වහන්සේ ආපසු ධර්මපර්යේෂණාලයට වැඩියහ.

* * * * * * * * * * * * *

ඛේමානන්ද හිමිපාණෝ ඉතා උසස් සිල්වත්, ගුණවත් , නැණවත් පැවිදි ශිෂ්‍යයින් තැනූහ. කුඩා වියේ සිට ම සංවරශීලී,? ධර්මානුගත පැවතුම් සහිතව ශිෂ්‍යයන් තැනීමට උන්වහන්සේ පරුෂ වචන භාවිතා කළේ නැත. ඉතා සුහද, මිත්‍රශීලී, කාරුණික බස මේ ශිෂ්‍යයන් ගේ ජීවිත ගොඩනැඟූ අයුරු අපූරුය. උන්වහන්සේ අවවාදයට වඩා ආදර්ශයෙන් ම ශිෂ්‍යයන්ට මඟ පෙන්වූහ.

හෑගොඩ අස්සජී හිමි, උක්වත්තේ චන්දිම හිමි, හෑගොඩ විපස්සී හිමි, හෑගොඩ පුන්නජි හිමි, කෙන්සිරිගම සුජාත හිමි, උළුවිටකේ සමිද්ධි හිමි උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍යයෝ ය‍.

ශිෂ්‍යයකුගේ වරදක් දුටුවිට උන්වහන්සේ ඔහුට අවවාද කරන්නේ බණ දෙසුමක ආකාරයෙනි. ගාථා – ශ්ලෝක – ජාතක කතා කියැවෙයි. දෙසුම අවසානයේ ශිෂ්‍යයාගේ ඇසට කඳුළක් ද සිතට එළියක් ද ලැබෙයි. ශිෂ්‍යයකුගේ යහපත් දෙයක් දුටුවිට ද /උන්වහන්සේ එය අගය කරති.

දිනක් හෑගොඩ විපස්සී හිමි කොළඹ බස් නැවතුම් පොළේදී මහ වැස්සකට හසු ව හුදෙකලාව සිටින විට වතුරේ පා වී ආ මුදල් නෝට්ටුවක් දුටහ. එය අතට ගෙන බැලූවිට රුපියල් දාහකි. එය තෙමී ඇති නිසා පොතක පිටු අතර තබා වට පිට බැලුවේ එහි හිමියා ළඟක ඇද්දැයි සෙවීමට ය. කිසිවෙක් නැත. උන්වහන්සේ හැන්දෑවේ මේ සිද්ධිය ගුරු හිමියන්ට කීහ.

“මොකක්ද ඒ වෙලාවෙ ඇතිවුණු සිතිවිල්ල?”

ගුරු හිමි ඇසූහ.

“මට ඒ මුදල ගැන කිසිම ආසාවක් ඇතිවුණේ නැහැ. අයිතිකාරයෙක් දුටුවා නම් දෙනවා… හිතුවා.”

ඉන්පසු අප හිමියෝ ධර්මකාරණා රැසක් ඉදිරිපත් කළහ.

* * * * * * * * * *

උන්වහන්සේ සියල්ල අත්හළ උතුමෙකි. සිය පැවිදි ‍ආචාර්යවරුන් අපවත් වීමෙන් පසු විහාරස්ථාන කීපයක නායක පදවි අප හිමිපාණන්ට පැවරිණ. එහෙත් උන්වහන්සේ ඒවා සිය පරපුරේ කනිෂ්ඨ භික්ෂුන්ට පවරා ධර්ම පර්යේෂණාලයෙහි වැඩ සිටියහ.‍

මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාව ථෙරවාද දර්ශන විශාරද’ යන ගෞරව උපාධිය ද සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයට උන්වහන්සේ පත් කළේ ය. 1977 දී අප හිමියෝ විද්‍යෝදය පිරිවෙනේ උප ප්‍රධානාචාර්යවරයා වූහ; 1983 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය ආයතනයේ කථිකාචාර්යවරයෙක් වූහ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ ද නූතන මහාවංශ පාළි ගාථා සම්පාදක මණ්ඩලයේ ද සාමාජිකයකු වූ හෑගොඩ ඛේමානන්ද නා හිමියෝ ප්‍රාචීණ භාෂෝපකාර ස්ථානයේ කාරක සභා සාමාජිකයෙක් ද වූහ‍. ඒ ආයතන තුනටම උන්වහන්සේ ගෙන් මහ මෙහෙයක් සිදුවිය.

දිනකට තුන් පැයකට වඩා උන්වහන්සේ සැතපුනේ නැත. රාත්‍රියේ මැදියමට පසුව පැය දෙකක් පමණ ගතවන තුරු උන්වහන්සේ ගේ කුටියේ පහන් දැල්වී තිබිණ.

පුටුවේ හිඳගෙන ලිවීමත්, හාන්සි පුටුවේ වැතිරී කියවීමත් සඳහාම දවස ගෙවිණ.

ඒ අතර ශිෂ්‍ය හිමිවරුන්ගේ දුක, සැප, ඉගෙනීම් තොරතුරු වත් පිළිවෙත් ගැන විමසීමට ද උන්වහන්සේ කාලය යොදා ගත්හ.

උන්වහන්සේ ඇරඹූ අමද්‍යප – අධූමප සංවිධානයේ කටයුතු නිතර සොයා බැලූහ. මත්වතුර, දුම් වැටි අත් හළ අතිවිශාල පිරිසක් උන්වහන්සේ බැලීමට ධර්ම පර්යේෂණාලයට නිතර පැමිණියහ.

“ඕක ස්වභාවය. සියල්ල අනිත්‍යයි. අප වහා කළ යුත්තේ ධර්මාවබෝධය ලැබීමයි.”

ලෙඩ ගැන විමසන අයට උන්වහන්සේ පිළිතුරු දුන්හ.

එදා 2003 මාර්තු 13 වැනිදා අප නා හිමියන්ගේ ශිෂ්‍යයකු වන හෑගොඩ විපස්සී හිමියෝ පිරිවෙනට යාමට සැරසී වීදියගොඩ පියනන්ද හිමියන්ට මෙසේ කීහ.

අද මට ලොකු හාමුදුරුවන්ගේ අමුත්තක් දැනෙනවා. මා අද පිරිවෙනට නොගොස් ඉන්නම්….”

විපස්සී හිමියෝ පන්සලේ නතර වූහ. නා හිමියන්ට සාත්තු කොට අල්ලපු කාමරේ ඇ‍ඳෙක මඳක් විවේක ගත් විපස්සී හිමියෝ අඩ නින්දකට වැටුණාහ.

“විපස්සී, පාරේ කොඩි අඳින්න” ලොකු හාමුදුරුවෝ අණ දුන්හ.

විපස්සී හිමියෝ ඇස් ඇර බැලූහ. මේ සිහිනයක්. උන්වහන්සේ නා හිමි අසලට ගියහ.

නාහිමි හිස මඳක් ඔසවා බැලූහ. ඒ සමඟ හිස පහත් විය.

විපස්සී හිමියෝ අනෙක් හිමිවරුන්ට කතා කොට සිය දෑත මත හිස තබා ගත්හ. අවසන් හුස්ම නිකුත් විය. දහමටම කැපවුණු අති උතුම් ජීවිතයක් ලොවට අහිමි විය.‍

නාහිමි පෙර කළ ඉල්ලීමක් පරිදි ඒ සිරුර කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාර කැරිණ.

දෙනගම සිරිවර්ධන

ඡායාරූපය – ටී. ඩී. සිරිසේන (මහරගම සමූහ)

//www.silumina.lk/2013/12/29/_art.asp?fn=af13122913