Home » විශේෂාංග » සිත නිවැරදිව පිහිටුවා ගනිමු

සිත නිවැරදිව පිහිටුවා ගනිමු

img-thingපින්වතුනී,

කැඩපතකින් නැතහොත් මුහුණ බලන කණ්නාඩියකින් කරන්නේ අපේ දෙනෙතට නොපෙනෙන තැන් බල බලා සිරුර හැඩ වැඩ කිරීමයි.

අම්බලට්ඨික රාහුලෝවාද සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට දේශනා කළේ තමන් කරන ක‍්‍රියා බලා කයින් වචනයෙන් සිතින් කළයුතු දෑ කළ යුතුයි යන්නයි. යම් කි‍්‍රයාවක් කරන විට එය තමන්ට දුක පිණිස, අවැඩ පිණිස, අහිතකර පිණිස පවතිනව නම් එය කරන්නෙපා.

ඒක අකුසලයක්. ඒක නරක ක‍්‍රියාවක්. එයින් දුක ශෝකය පසුතැවිල්ල ඇති වෙනව. කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ සිදු කරනු ලබන යම් ක‍්‍රියාවක් තමාටත් අනුන්ටත් යන දෙපිරිසටම ගැළපෙනව නම් සැප පිණිස පවතිනව නම්, හිත පිණිස පවතිනව නම්, එම ක‍්‍රියාව කුසලයක්. යහපත් වැඩක්.

ඇතැම් විට ඔබ ගන්නා තීරණයක් ඔබට විතරක් යම්කිසි සැපක් ගෙනදේවී. එහෙත් අන් අයට දුකක් කරදරයක් හිරිහැරයක් එයින් වෙනව නම් ඒක හොඳ ක‍්‍රියාවක් නොවේ. අපි ජීවිතයේ හැම මොහොතකටම විවිධ ක‍්‍රියාවල නිරත වෙනවා. එසේ වුවත් ඒවා පිළිබඳ විමසා බලා හිතා මතා කිරීමට පුරුද්දක් කරගෙන නැහැ නේද?

ඒ නිසා එවැනි හොඳ පුරුදු ඇති කරගන්නවා නම් කොච්චර හොඳද?. එය ටිකක් අපහසුයි. එහෙත් උත්සාහය තුළින් ඒ පුරුෂාර්ථ ලං කර ගන්න පුළුවන්. දැන් බලන්න මිහිපිට වෙසෙන සෑම සත්වයන් අතරින් මිනිසාට සමාන අන්කිසි සත්වයෙක් නැහැ නේද? ඒ අන් කිසිවක් නිසා වත් නොවේ. ඉතා උසස් තත්වයන්ට දියුණු කරගත හැකි අසිරිමත් මනසක් මිනිසාට තිබෙන නිසායි. බුද්ධිමතෙකු වීම, වියතෙකු වීම, සත් පුරුෂයෙකු වීම, ශ්‍රේෂ්ඨ විද්‍යඥයෙකු වීම, දෙවියෙකු වීම, බ‍්‍රහ්මයෙකු වීම, සියලූ කෙලෙස් නසා රහත් වීම ආදී ඕනෑම අධ්‍යාත්මික විශේෂතා ලඟාකර ගත හැක්කේ මිනිසාටය. එය එසේ වුවත් මේ අසිරිමත් සිත වරදවා පිහිටුවා ගත්තේ නම් සමාජයේ හැම කෙනෙකුටම හිරිහැර කරන පුද්ගලයෙක් බිහි වෙනව. මත් උවදුරට ලක් වූ කෙනෙක් වෙනව. මිනී මරුවෙකු ත‍්‍රස්තවාදියෙකු පාපතරයෙකු හෝ වෙන්න පුළුවන්. මේ නිසා හැම කෙනෙක්ම සිත නිවැරදිව පිහිටුවා ගෙන මිනිස්කම ඔපවත් කර ගන්නට හුරු පුරුදු වෙමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!