Home » පුවත් පත් ප්‍රකාශන » මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම

මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම

-වැරදි වහගන්න අවිචාරවත් හැසිරීමක්
-ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි

sobitahimiතමන්ගේ වැරදි වසා ගැනීමට සමහර භික්ෂුන් මළ කඳන් උඩින් නැගී සිටීමට උත්සහ කරන්නේ යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් යැයි කියමින් නැති ප්‍රශ්න මතුකර සමාජ අනුකම්පාව දිනාගැනීමට ඇතැමුන්

දරන උත්සහය හාස්‍යජනක යැයිද විපස්සි හිමියෝ අවධාරණය කරති.

තමන්ගෙන් වැරැද්දක් සිදුවීනම් ඒ වැරැද්ද නිවැරදි කර ගැනීම හෙවත් ආයති සංවරය ඇතිකර ගැනීමට භික්ෂුව පෙළඹිය යුතුයි. එසේ නොවී රට පටලන ප්‍රකාශ නිකුත් කරමින් අවිචාරවත් අන්දමින් ක්‍රියාකිරීම භික්ෂුවකට කිසිසේත්ම උචිත නැහැ.

බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා යැයි වරක් උඩුවේ ධම්මාලෝක හිමියන් කිව්වා. අපේ සමහර භික්ෂුන් කතා නොකර සිටින තාක් උන්වහන්සේලාගේ බුද්ධිමත් බව රැකෙනවා. සිහිබුද්ධිය ඇතිව අපි යමක් ප්‍රකාශ කළ යුතුයි.

සෝභිත හිමියන් මේ රටට සුවිශාල මෙහෙවරක් කළ හාමුදුරුනමක්. උන් වහන්සේ රටේ ජාතික, ආගමික, සමාජ ප්‍රශ්වලදී පෙරමුණේ සිටියා. එය අවිවාදිතයි. අද උඩුවේ හිමි කරන ප්‍රකාශ සෝභිත හිමිට අගෞරවයක්. උන්වහන්සේගේ අපවත්වීම ගැන සැකයක් තිබුණේ නම් එය මුලින් ප්‍රකාශ කළ යුතුයි. දැන් උන්වහන්සේගේ ඉතිරිව ඇත්තේ භෂ්මාවශේෂ ටික විතරයි. දැන් සැකයක් ගැන කතා කිරීමේ අරමුණ ඕනෑම කුඩා දරුවකුට වුණත් වැටහෙනවා.

අපේ සමහර හිමිවරුන් දැන්වත් ධර්ම විනයානුකූලව කටයුතු කළයුතු කාලය එළඹි තිබෙනවා.

යම්කිසි ප්‍රශ්නයක් දිගින් දිගටම කතා කිරීමෙන් ඒ ප්‍රශ්නය තවදුරටත් අවුල් වෙනවානම් එය කතා නොකළ යුතු බව විනය පිඨකයේ සඳහන් වෙනවා. අසූචි ගොඩ ඇවිස්සීමෙන් තව තවත් ගඳ ගසන නිසා ඒ අසූචි ගොඩ තණ පිස්සක් දමා වසා ඉතිරි කටයුතු කළ යුතු බව විනය පිඨකයේ උගන්වා තිබෙනවා. තින වත්ථාරක කර්මය කළ යුතුයි කියන්නේ එයයි.

බුද්ධිය බද්දට නොගෙන ධර්ම විනයානුකූලව කටයුතු කරන්නේ නම් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි යැයිද විපස්සි හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
(ජනක හෙට්ටිආරච්චි)

– උඩුවේ හිමිගෙන් ප්‍රකාශයක් ගන්න
– නීතිය භාර ඇමැතිගෙන් ‍පොලිස්පතිට නියෝග

නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන උඩුවේ ධම්මාලෝක හිමියන් කර ඇති ප්‍රකාශය පිළිබඳ කටඋත්තරයක් ලබා ගෙන ඒ ඔස්සේ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ‍පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා වෙත නියෝග කර ඇත.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් බව උඩුවේ ධම්මාලෝක හිමියන් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබුණි. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමැතිවරයා ‍පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇත.

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කටයුතු කර තිබෙන ආකාරය සම්බන්ධයෙන්ද සොයා බලන ලෙසද ඇමැතිවරයා ‍පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

ඇමැති සාගල රත්නායක මහතාගේ උපදෙස් අනුව ඉදිරි දින දෙක තුන තුළදී උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

(ලසන්ත වීරකුලසූරිය)

උපුටා ගත් ලිපිය

//lakbima.lk/index.php?option=com_content&view=article&id=49972:2016-03-25-05-14-35&catid=34:news&Itemid=62